නන්දිමිත්‍ර යෝධයා:
නන්දිමිත්‍ර යෝධයා උපන්නේ කඩරොද ගම්මානයේ ය. නන්දිමිත්‍රගේ මව එලාරා රජුගේ හමුදාවේ විශ්වාසවන්ත සිංහල සෙනෙවියෙකුගේ වූ මිත්‍රාගේ සහෝදරිය වූ ෂමානා ය. ඔහුගේ පියා නදීක, ශ්‍රී ලංකාවේ දකුණේ සිතුල්පව්ව (චිත්තල පබ්බත්ත) අසල පිහිටි ශිල්ප හා කර්මාන්ත ගම්මානයක් වන කඩරොද (චිත්‍ර නාගරය) හි ගමේ අධිපතියෙකි.ඔහු එලාරා රජුගේ හමුදාවේ අණ දෙන නිලධාරියා වූ මිත්තාගේ ඥති පුත්‍රයෙක් විය. ජනප්‍රවාදයන්ට අනුව තරුණ නන්දිමිත්‍රට අලි 10 දෙනෙකුගේ ශක්තිය තිබුණි. නන්දිමිත්‍රාගේ මාමා වන මිත්‍රා ඔහුගේ නිර්භීතකම හා ශක්තිය ගැන අසා ඔහුට අනුරාධපුරයට පැමිණ ජීවත් වීමට ආරාධනා කළේය. කුඩා කලම සිය කාය ශක්තිය පෙන්වූ නන්දිමිත්‍ර, ගැටවර අවදියේත් ගමේ මිනිසුන්ව මවිතයට පත් කළේ ගැලවීමට අපහසු උණ පඳුරක් තනියම ගලවා ඉවත් කිරීමෙන් පසු ඔහුව “ශක්තිමත් මිත්‍රා” යන අර්ථය ඇති නන්දිමිත්‍රා ලෙස නම් කරන ලදී.
කාවන්තිස්ස රජු ගාමිණි කුමරු වෙනුවෙන් හමුදාවක් සකස් කිරීමට ශක්තිමත් හා නිර්භීත තරුණයන් සොයමින් සිටින බව නන්දිමිත්‍රට දැනගන්නට ලැබුණි. ඔහු රජු සමඟ සම්බන්ධ වීමට තීරණය කළ අතර රජු බැලීමට මාගමට ගොස් ඔහුගේ හමුදාවට බැඳුණේය. කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු දුටුගැමුණු කුමරු රජු ලෙස කිරුළු පළඳන ලද අතර හමුදාව සහ රණශූර යෝධයන් ඔහුගේ අණසකට යටත් විය. නන්ද්මිත්‍රා ඉතා ආගමික වූ අතර අනුරාධපුරයේ සිටියදී ඔහු බොහෝ විට ජය ශ්‍රී මහා බෝධි සහ ථූපාරාමයේ නමස්කාර කළේය. පන්සල් සහ අනෙකුත් පූජනීය ස්ථාන අපකීර්තියට පත් කළ සොල්දාදුවන් ඉරා දමා “එක් කකුලක් ඔහුගේ කකුලෙන් පාගා දමන අතර අනෙක් අත ඔහුගේ අතින් අල්ලාගෙන” මරා දැමූ බව කියනු ලැබේ. මහවංශ, 23 වන පරිච්ඡේදය, 3 පදය)
නන්දිමිත්‍රා වරක් සුප්‍රසිද්ධ කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කර පරාජය කළ අතර ඇතා මෙය තමාට කරන ලද නිගරුවකැයි සිතූ කඩොල් ඇතා එතැන් පටන් නන්දිමිත්‍ර සමග වෛර බැදගත් අතර නන්දිමිත්‍ර නැවත මුණගැසී අවස්ථාවක් ලද විටෙක පහර දීම සදහා කඩොලැතා විසින් පොල්ගෙඩියක් නිතරම සගවා ගෙන සිටි බවද සදහන් වේ. විජිතපුර සටන අතරතුර, කණ්ඩුල අලියා එලාර බලකොටුවට කඩා වැදීමට භාවිතා කරන ලදී; කණ්ඩුල බලකොටුව දෙසට යද්දී විශාල යකඩ දොරක් ඔහුගේ හිස මතට වැටී ඇති නමුත් නන්දිමිත්‍රා එය අතින් අල්ලාගෙන අලියා බේරා ගත්තේය. එම අවස්ථාවේ මෙතෙක් කල් පරහදීමට සගවා ගෙන සිටි පොල්ගෙඩිය පසෙකට දැමූ කඩොල් ඇතා නන්දිමිත්‍රට තමා පිටට නගින්නට ඉඩ සැලසූ බවද අසන්නට ලැබේ.
එළාර සමග කළ විජිතපුර සටනේ දී විශාල මෙහෙයක් කළ නන්දිමිත්‍ර යෝධයාට යුධ ජයග්‍රහණයෙන් අනතුරුව ඔහුට පුත්තලම් හි දදුරු ඔයා අසල ඉඩම් ප්‍රදානයක් ලැබෙනවා. ඔහු සිය අවසාන කාලය එම ප්‍රදේශයේ ගත කළ බව වංශ කතාවල සඳහන් වනවා.
වේළුසුමන යෝධයා:
වේළුසුමන නම් රණශූරයා ගිරි දිස්ත්‍රික්කයේ කුටුම්බියංගන ප්‍රදේශයේ වාසභ නම් ගෘහ සේවකයෙකුගේ පුතෙකු ලෙස උපත ලැබූ අතර ඔහුගේ මිතුරන් වන වේලා සහ ගිරි ආණ්ඩුකාරවරයා වූ සුමනගේ නමින් නම් කරන ලදී.වසභගේ මිතුරෙකු වුණු සුමන ජනපද පාලකයා ළග කිසිවෙකුට මෙල්ල කරන්නට බැරි අශ්වයෙකු සිටියා. දිනක් වේළුසුමන එම අශ්වයාව මෙල්ල කරමින් අසු පිට නැගී ගමන් කළා. සිය පුතුගේ හැකියාව දුටු වසභ සහ ඔහුගේ මිතුරු සුමන මවිතයට පත් වුණා. ඉන්පසුව ඔවුන් දෙදෙනා වේළුසුමනව කාවන්තිස්ස රජු ළගට රැගෙන ගියා. එදා සිට කාවන්තිස්ස රජුගේ සේනාවට එකතු වුණු වේළුසුමන යෝධයා දුටුගැමුණු රජුට සිටි හොඳම අසරුවා ලෙසින් සැලකෙනවා.
විහාර මහා දේවියගේ දොළදුක් - ගැමුණු කුමරා උපදින්නට සිටින් විට මවට දොළදුක් හතරක් පමණ උපන් බව දක්වා තිබේ. රියන් සියයක් දිග මී වදයක් සංඝයාට දී තමාද කෑම ඉන් එකකි. මෙය කුමරාගේ පින් බලයෙන්ම ඉටු විය. ඉතිරි දොළදුක් (තිසා වැවෙන් පැන් නෑමට හා බීමට, එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා ජලය බීම, එළාර රජුගේ මහනෙල් මල් පැළදීම ) සංසිඳුවීමට වේළුසුමන ක්‍රියා කළේය.මේ සඳහා ඔහු තමා එළාර රජුට පක්ෂපාතී අයෙකු ළෙස හඟවා එළාර රජුගේ අස්ගාල රැක බලා ගැනීමේ කාර්යය බාර ගත්තේය. ඉන්පසු එහි සිටින ශක්තිමත්ම අයෙකු වන රණමද්දව නම් අසෙකු හොඳින් හික්මවා තබා ගත් ඔහු එක් දිනක තිසා වැවෙන් පැන් කළයක්, මහනෙල් මල් ආදිය සකස් කොට අශ්වයා සොරාගෙන තමා වේළුසුමන බව පවසා පළා ගියේය. මෙයින් කිපුණු එළාර රජු තම හොදම සෙබළාව වේළුසුමන මරා දැමීම සදහා පිටත් කර හැරියේය. සැඟව සිටි වේළුසුමන තම කඩුවෙන් එම සෙබලාගෙ හිස කඳෙන් වෙන් කොට, ඔහුගේ ලෙය තැවරුණු කඩුව දුටුගැමුණු රජු වෙත ගෙන යන ලදී.. මොහු සටන් කළේ බොහෝ විට අසු පිටය.එලෙස දුටුගැමුණු රජුගේ යුධ ජයග්‍රහණය සඳහා සවියක් වුණු වේළුසුමන යෝධයාට වෙරුප්පන්කුලම ගම්මානය ගම්වරයක් ලෙස ලැබුණු බව වංශ කතාවල සඳහන් වනවා.
සුරනිමල යෝධයා:
සුරනිමල යනු දුටුගැමුණු රජුගේ සේනාවේ දෙවන සේනාධිනායක වූ අතර, ඔහුගේ සෙබළුන් අතුරින් විශිෂ්ඨතම දස දෙනා වශයෙන් සැලකෙන දස මහා යෝධයන් අතුරින් එක් අයෙකි. එළාර රජුට එරෙහිව දුටුගැමුණු රජුගේ යුද්ධයෙහි විජයග්‍රහණය අරභයා ඔහුගේ කාර්යභාරය ඉමහත් විය. ඔහු කඩුහරඹයෙහි අති මහත් නිපුණතාවයක් දැක්වූ බව පැවසෙන අතර ඔහු හට රිසිවූ අවිය මහා කඩුව බවද එය ඔහු විසින් උත්කෘෂ්ඨ කුසලතාවයකින් ලෙලවු බවද කියැවේ.
කඩවිට ග්‍රාමයේ සංඝ නමින් ධනවත් පුද්ගලයා හට සිටි දරුවන් හත් දෙනාගෙන් බාලයා නිමල යන නමින් හඳුන්වනු ලැබුවා. සංඝගේ පුතුන් හත් දෙනෙක් ඇති බව ඇසූ දීඝාභය කුමරු ඉන් එක පුතෙකු රාජ සේවයට එවන ලෙස ඔහුට දන්වා සිටියේය. සංඝ ගේ බාලම පුතා වූ "නිමල" ඉතාමත් සවි බල ඇති තරුණයෙකු වූ මුත් කිසිදු රැකියාවක් නොකළ හෙයින් වැඩිමල් සෝයුරෝ රාජ සේවය සඳහා ඔහුව යවන ලෙස පියා කැමැති කරවා ගත්හ. ඊට සහෝදරයන් සමග උරණ වී කඩවිට නම් ගමෙන් නික්‌ම දොළොස් ගව්වක් ගෙවා කසාතොටට ගොස් දීඝාභය කුමරු හමුවිය. දීඝාභය කුමරු ඔහුගෙන් විස්‌තර අසා සිටි විට ඔහු දොළොස් ගව්වක් ගෙවා හිරු නැගීමට පෙර පැමිණි බව පැවසුවේය. දීඝාභය කුමරු ඔහුගේ ගමන පරීක්‌ෂා කිරීමට සිතා මිහින්තලා ගල සමීපයෙහි වූ කුණ්‌ඩල නම් බමුණා ළඟට ගොස් සඳුන්, කස්‌තුරි, කපුරු හා කළුවැල් ආදිය සුවඳ බඩු ද ගෙන එන ලෙස ඔහුට බත් කවා ලියුමක් දී යවා ඇත. මේ වන විට ඔහුට අවුරුදු දොළහක් පමණ විය. මහවැලි ගඟ ආසන්නයේ කසාතොට සිට මිහින්තලාවට ද, දොරමඩලාවට ද ඉන්පසු අනුරාධපුර නගරයේ වීථිවල සැරිසරා තිසා වැවෙන් දිය නා ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය වැඳපුදාගෙන පැමිණි කාර්යය ඉටු කර නැවත දොරමඩලාව, මිහින්තලය හරහා කසාතොටට පැමිණීමට ඔහුට ගත වී ඇත්තේ දින අඩකි. කාවන්තිස්ස රජු අභිමුඛයට පත් කරන ලද නිමලගේ, දක්ෂතා උරගා බලනු වස් කඩු කිහිපයක් මුවහත් කිරීමට පැවරූ බවත් ඉතා හොඳින් එය ඉටු කළ බවත් සඳහන් වෙනවා. ඔහුගේ නිපුණතාවයන් පිළිබඳ පැහැදුනු රජු, තමා යටතේ සේවයට ඔහු බඳවා ගෙන, රජුගේ හමුදාවෙහි ප්‍රධාන සෙන්පති වරුන් හා රණ ශූරයන් වන දස මහා යෝධයන් අතුරින් එකෙකු බවට පත් කෙරිණි.
දිනක් දුටුගැමුණු රජතුමා රා දහසය නැළියක් පිර වූ බඳුනක් පානය කිරීම සඳහා අභියෝගයක් ලබාදුන්නා. එදා එම අභියෝගය භාරගත් නිමල, එය සාර්ථකව නිම කළ නිසා ඔහු සුරනිමල ලෙස ප්‍රසිද්ධියට පත් වුණා.
රජුගේ හස්ති රාජයා කණ්ඩුල හා මිතුරු නන්දිමිත්‍ර සමග,ඔහු බලකොටුවේ දකුණු ද්වාරය ආක්‍රමණය කලේය. ඇතෙකු විසින් පවුරෙහි බිඳ දැමූ සිදුරකින් බලකොටුව තුලට පිවිසීම තම ගර්වයට හානියක් යැයි සිතූ සුරනිමල කොටු පවුරට උඩින් අහස් පිම්මක් මගින් බලකොටුවට පිවිසි බව කියවෙනවා. බලකොටුව තුලට පිවිසි වහාම මහා කඩුව සුරතට ගත් ඔහු සතුරා සමග සටන් කළේලු. ඔහු විසින් එළාර රජුගේ රණශූර දීඝජන්තු පරාජය කිරීම නිසා, දුටුගැමුණු ඝාතනය කිරීමේ දීඝජන්තුගේ සැලැස්ම වියැකී ගිය බවක් පැවසේ.

No comments:
Post a Comment