Saturday, September 28, 2019

සිරිත් මල්දම (1 කොටස ) - ගුණ ගරුක දරු පරපුරක් නිර්මාණය කිරීම උදෙසා..



මයිනට හොඳ නරක කියා දෙන උපදේශක කාව්‍යයක් වන සිරිත් මල්දම  ළදරු කැළ ඉලක්ක කර ගනිමින්  ගරු ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් 1895 වර්ෂයේදී  මෙම කෘතිය රචනා කළ අතර 1909 දී ප්‍රකාශයට පත් කරන ලදී. මෙය මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය, හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙස රචනාකර ඇත.හොඳ සිරිත් ඉගෙනිමෙන් එළොව මෙලොව කීර්තිය හා සම්පත් සඳහා මේ පොතේ උපදෙස්  පිළිගැනීමෙන්  හා පිලිපැදීමෙන් යහපත් සමාජයක් බිහිකර ගැනීම අසීරු නොවේ.දරුවන් ට මෙන්ම  හුදෙක් වර්තමාන වැඩිහිටියන්  සඳහාද බොහෝ සෙයින් වැදගත් වන උපදේශ මාලාවකි.


01.කවිය :-   
            සැමට සෙත් වඩවන
           සිරිත් මල්දම බලමින
           සිරිත් හොඳ දැනගෙන
           මහත් යසසිරි ලබනු
           දෙලොවින

(සැමට සෙත් සලසන සිරිත්මල්දම බලා හොඳ සිරිත් දැනගෙන දෙලොව පරලොව දෙකෙහි මහත් යස ඉසුරු ලබා ගන්න.)

02.කවිය :-   
            හොඳ නොහොඳ දෙක මය
            හොඳ නොහොඳ අයගෙන් මය 
            ගඳ සුවඳ දෙක මය
            ගඳ සුවඳ එම
            දෙයින්වනු මය

  (හොඳින් හැදෙන්න සැමවිටම හොඳ සිත අවශ්‍යය.නරක සිත් නිසා නරකක්ම සිදුවේ.)

03.කවිය :- 
             නරක සිතකින් නම්
            හොඳක් නොකළැකි කිසියම්
            හොඳක් නොකළේ නම්
            උපන් ගතියෙන් නැත පලක් නම්

(නරක සිතුවිල්ලකින් නම් කිසිම හොඳක් කල නොහැක.යහපතක් නොකළ හොත් ලැබූ මිනිසත් බවෙන් ප්ර‍රයෝජනයක් නොමැත.)

04.කවිය :- 
            පව් නම් නරක මය
            එයින් දෙලොවෙහි දුක මය
            පින් නම් උතුම් මය
            එයින් දෙලොවෙහි මහත් සැප මය

(පව් කිරීම නරකය. එයින් මෙලෝ පරලෝ දෙකෙහිම දුක ඇති වේ. පින් කිරීම උතුම් වේ. එයින් දෙලොවම මහත් සැපම ලැබේ.)

05.කවිය :- 
           තමන් පණ ලෙස හැම
          සතුන් ගැන සළකා පෙම
          ඔවුන් දුටු විලසම
          කරන් ආදර ගුණය නොහැරම

(තමන්ගේ පණ මෙන් හැම සතකු කෙරෙහිම පෙමින් සලකන්න. ඔවුන් දු‍ටු විට ආදර ගුණය අත් නොහැර සලකන්න)

06.කවිය :- 
             සෙල්ලම් සිතින් වත්
             යම්කිසි තරහකින් වත්
             මරන සිතකින් වත්
             සතුන්හට වදදීම නොහොබිත්

(විනෝද වීමේ අදහසින් හෝ, කිසියම් තරහක් නිසා හෝ, මරණ චේතනාවෙන් හෝ සතුන් හට වද හිංසා කිරීම සුදුසු නැත.)

07.කවිය :-
              නොමින් දුක විඳිමින
              අනුන් සෙව් දන මිල දැන
              හොරෙන් නො ගනුව පැන
              සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන

(අප්‍රමාන දුක් විඳ අනුන් උපයා ගන්න ලද දනයෙහි අගය තේරුම් ගෙන කිසි විටක හොරෙන් ඒවා නොගන්න. කිසිදු වටිනාකමක් නැති කැට කැබලිති ලෙස ඒවා ගැන සිතන්න.)

08.කවිය :-
              අනුන්ගෙන් නැති උනදෙයක්
              ලැබුණොත් යම් දින
              එය සඟවා නොගෙන
              දෙන්ට කරුණා කරන් සතුටින

(අනුන්ගේ නැතිවුනු දෙයක් යම් දිනක ඔබට ලැබුණොත්, එය හන්ගා නොගෙන සතුටින් ඔවුන්ටම දෙන්න.)

09.කවිය :-
            කුණු සරුප නොකියනු
            කේලම් වචන නොකියනු
            විහිලූ බොරු නොකියනු
            ඇනුම්පද කිසිවෙකුට නොකියනු

(කැත වචන නොකියන්න. කේලාම් නොකියන්න. විහිළුවටවත් බොරු නොකියන්න. කිසිවෙකුට ඇනුම් පද නොකියන්න.)

10.කවිය :-
               බොරු කීම කැතමය
               ගැරඬි කුණටත් නොසමය
              ඇත්ත නම් කදිමය
              මෙලොව රජ සැපතටත්උතුමය

(බොරු කීම කැත සිරිතකි. එය ගැරඬි කුණකටත් වඩා නොවටිනා දෙයකි. ඇත්ත කීම හොඳම දෙයකි. එය මෙලොව රජ සැපතටත් වඩා උතුම්ය)

11.කවිය :-
             අතින් අත බැඳ පෙළ
            නොයන් මංමාවත්වල
            තැනින් තැන කඩවල
            නොයන් කරුණක් නැතිව කිසි කල

(අත්වැල් බැඳ පේලි ගැසී මංමාවත් වල නොයන්න. අවශ්‍යතාවයක් නොමැතිව තැන තැන කඩපිල්වල කිසිවිටෙක නොයන්න.)

12.කවිය :-
             තැනින් තැන ගෙන් ගෙට
             ගොසින් බලමින් වට පිට
             අනුන් කන බොන විට
             ලොබින් නොයිදින් නැතත් කෑමට

(තැනින් තැනට ගෙයින් ගෙයට ගොස් වට පිට බලමින් අනුන් කන බොන වේලාවලදී තමන්ට කෑමට නැතත් ලෝබයෙන් ඒ දෙස බලා නොසිටින්න.)

13.කවිය :-
            දනන් නිති ගැවසෙන
            තැනින් කුඩ ඉසලාගෙන
            සැරෙන් බස් කියමින
            ගමන් නොකරන් උඩඟු විලසින

(ජනයා නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන වලින් කුඩ ඉසලා ගෙන, සැරෙන් කථා බස් කරමින් උඩඟු ලෙස ගමන් නොකරන්න.)

14.කවිය :-
              පාරෙ යන එන විට
             අයින් වීමෙන් දකුණට
             දුව පැන දඟ නොකොට
             ගමන් කළ යුතුය කී හැම විට

(පාරේ යන එන අවස්ථා වලදී දකුණු පැත්තට අයින් වී දුව පනිමින් දඟ නොකර හැම විටම ගමන් කළ යුතුය.)

15.කවිය :-
             යම් කිසි ගෙදරකට
             ගිය කල ඕනෑ කමකට
             ඔවුන් නොම දැක ගෙට
            ඇතුල් නොමවන් නො හොබි සිරිතට

(යම්කිසි නිවසකට ඕනෑකමක් සඳහා ගිය විටෙක ඔවුන්ගේ ආරාධනාක් නොමැතිව ගෙට ඇතුළු නොවන්න. එය නොහොබිනා සිරිතකි.)

16.කවිය :-
              සූදු කෙළි පලකට
             කොලහල කෙරෙන තැනකට
             තැබෑරුම් පලකට
             යාම හොඳ නැත බලා ඉඳුමට

(සූදු පොලකට, කෝලහාල කරන තැනකට, තැබෑරුම් පොලකට ගොස් බලා හිඳීම සුදුසු නැත)


17.කවිය :-
             නාඩගම් බැලුමට
             විහිලු කෝලම් බැලුමට
             යක් තොවිල් බැලුමට
             නොයන් නොහොබින එවැනි තැනකට

(නොගැලපෙන නාඩගම්, විහිළු කෝලම් යක් තොවිල් වැනි දෑ බැලීමට නොයන්න.)


18.කවිය :-
              අව්වෙහි ගොසින් වත් 
             සෙල්ලම් කිරීමෙන් වත්
             වෙහෙස වී සිටියොත්
             නො බොනු ඇල්දිය තිබහ තිබුනත්

(අව්වෙහි ගමන් කර හෝ  සෙල්ලම් කර වෙහෙස වී සිටියොත් පිපාසය ඇතත් එක්වර ඇල්දිය නොබොන්න.)


19.කවිය :-
             අඟුරු හුණු කැට ගෙන
             විහිලු නො ලියනු තැන තැන
             බිත්ති කණු කිසි තැන
             යමක් නො ලියනු අයුතු විලසින

(අඟුරු හෝ හුණු කැට ගෙන තැන් තැන් වල විහිලු දෑ නොලියන්න. බිත්ති වල හෝ කණු වල හෝ කිසිම තැනක අයුතු ලෙසින් කිසිවක් නොලියන්න.)


20.කවිය :-
              ගුරු බස සැබෑමය
              එය පිළිගැනුම යුතුමය
              පඬි බසත් එයමය
              එයින් දෙලොවෙහි මහත් සැපමය

(ගුරුවරුන්ගේ වචනය සත්‍යක් ම වේ. එය පිලිගත යුතුය. පඬිවරුන්ගේ වචනත් පිළිගෙත යුතුය. එයින් දෙලොව මහත් සැප ම ලැබේ.)

21.කවිය :-
             ගුරුවරු කිසිම විට
             සතුටු නොම වෙති තැළුමට
             හොඳින් එය සිහි කොට
             වැරදි නො කරන් තැළුම් කෑමට

(ගුරුවරු කිසිවිට දඬුවම් කිරීමට සතු‍ටු නොවෙති. ඒ බව හොඳින් සිහි තබාගෙන දඬුවම් විඳීමට සිදුවන වැරදි නොකරන්න.)

22.කවිය :-
            තක්කඩි කම් කළොත්
            දඬුවම් දෙති සැක නැත්
            දඬුවම් නුදුන්නොත්
            ළමයි කිසි කළ හොඳින් නො හැදෙත්

(තක්කඩි වැඩ කළ හොත් දඬුවම් ලැබෙන බවට සැක නැත. දඬුවම් නොකල හොත් ළමයි කිසි දිනක යහපත් ලෙස නොහැඳේ.)

23.කවිය  :-
             වැරදි කළ අය හට
             දඬුවම් දෙන්නේ හැදුමට
             හැදෙන අය එම විට
            හොඳින් කීකරු වෙති නැමී සිට

(වැරදි කළවුනට දඬුවම් කරනුයේ ඔවුන් යහපතෙහි පිහි‍ටුවා ගැනීමටය. එවිට හොඳින් හැදෙන ලමයි කීකරු වෙති.)


24.කවිය  :-
            ඉර උදා වෙන්නට
            පළමුව නැඟිට සිහිකොට
            අලසකම් දුරුකොට
            කරන් වැඩ පල දියුණු වන්නට

(ඉර උදා වන්නට කලින් නැගිට සිහිකල්පනාවෙන් යුතුව කම්මැලිකම දුරුකර දියුණුව සඳහා වැඩෙහි යෙදෙන්න.)

25.කවිය  :-
              ගෙදොර අතුගෑමෙන
             මූණ කට සෝදා ගෙන
             ඔළුව පීරාගෙන
             අකුරු පාඩම් කරනු සතුටින

(ගේදොර අතුගා, මුහුණ කට සෝදා, හිස පීරා, සතුටින් පාඩම් කටයුතු කරන්න.)

26.කවිය  :-
               අත පය සෝදා ගෙන
              නරක කෑමක් නොමගෙන
              හොඳ දෙයක් කෑමෙන
              සැරසෙන්න පාසලට යන මෙන

(අත් පා සෝදා නරක අහාරයක් නොගෙන හොඳ අහාරයක් අනුභව කොට පාසලට යාමට සූදානම් වන්න.)

27.කවිය  :-
             කිලිටු රෙදි බැනියම්
             ඇඳුම් නාඳිනු කිසියම්
             පිරිසිදු නිසි ඇඳුම්
             අඳින් හැම කල නුඹට ඇත්නම්

(කිලිටි වූ රෙදි බැනියම් ඇඳුම් නොඅඳින්න. ඔබට තිබේ නම් හැම විටම පිරිසිදු ගැළපෙන ඇඳුම් අඳින්න.)

28.කවිය  :-
           දිග නියපොතු වැඩුණු
           තිබුම හොඳ නෑ කප්පනු
           දත්පෙළ කුණු බැඳුණු
           පෙනෙයි කැත ලෙස හොඳින් සෝදනු

(දිගට වැඩුනු නියපොතු තිබීම හොඳ නැත. ඒවා කපා දමන්න. කුණු බැඳුනු දත්පෙළ කැත ලෙස පෙනෙන බැවින් හොඳින් දත් මදින්න.)

29.කවිය  :-
             සෙම් සොටු පෙරාගෙන
             කුණු කෙළ වගුරුවා ගෙන
             දැලිකුණු තවරැ ගෙන
             ඉඳුම කැත ලෙස පෙනෙයි බැලු තැනු

(සෙම් සො‍ටු පෙරාගෙන, කුණු කෙල කට දෙපසින් බේරෙන ලෙසින්, දැලි කුණු තවරගෙන හිඳීම කැතය.)

30.කවිය  :-
              හිස අවුල් කරගෙන
              කිලුටු වැරහැලි ඇඳගෙන
             පඹයකුගේ විලසින
             ඉඳුම හොඳ නෑ බූත කරමින

(හිසකෙස් අවුල් කරගෙන කිලු‍ටු වැරහැලි ඇඳගෙනපඹයෙකු ලෙසින් නොයෙන් විකාර කරමින් සිටීම හොඳ නැත.)

31.කවිය :-
              තම දෙවියන් නැමද
              මව්පිය දෙදෙන දැක වැඳ
             ගුරුන් වෙත ගොස වැඳ
             අකුරු නිසි ලෙස ඉගෙන ගනු සොඳ

(තමගේ ඉෂඨ දේවතාවන් වැඳ, මව්පියන් දැක වැඳ, ගුරුවරුන් වෙත ගොස් වැඳ නියමිත ලෙස හොඳින් අකුරු ඉගෙන ගන්න.)

32.කවිය :-
             පාසලට යන එන
             අතර මගදී කිසිතැන
             කොලහල නොකරමින
             ගමන් කරපන් සිල්වතකු මෙන

(පාසැලට යන එන අතරමග කිසිම තැනකදී කෝලහල කර නොගෙන සිල්වතෙකු මෙන් ගමන් කරන්න.)

33.කවිය :-
            තම පොත් පත් රැගෙන
           නියම තැන්වල ඉඳගෙන
           ගෝසා නොකරමින
           කරනු පාඩම් සිතට ගනිමින

(තමන්ගේ පොත්පත් ‍රැගෙන තමන්ට නියමිත ස්ථානයේ හිඳගෙන කෑකෝ නොගසා සිතට ගනිමින් පාඩම් කරන්න.)

34.කවිය :-
            පාසලෙහි තැන තැන
            නොයන් දුවමින් බලමින
            දඟ නොකර ඉඳගෙන
           ගුරුන් කී දෙය කරන් එලෙසින

(පාසලේ නොයෙක් තැන දුව පැන බලමින් දඟ නොකොට හිඳිමින් ගුරුවරුන් නියම කළ වැඩ ඒ අයුරින් කරන්න)

35.කවිය :-
             අනුන්ගේ පොත් පත්නා
            දිනු නොගනු කිසිවක්
            උවමනා කළහොත්
            කියා ඉල්ලා ගැනුම යහපත්

(අනුන්ගේ පොත් පත් වල නොඅඳින්න. අනුන්ගේ කිසිවක් නොගන්න. අවශ්‍ය වූ විටෙක කියා ඉල්ල ගැනීම යහපත්ය)

36.කවිය :-
              ගල්ලෑලි පොත් පත්
             පෑන් පැන්සල් සැවොමත්
             තම  සැලකුම ඇතොත්
            තමන් ගාවම තිඛෙයි සැක නැත්

(ගල්ලෑලි පොත්පත්, පෑන් පැන්සල් ආදී අවශ්‍ය සියල්ල කෙරෙහිම තම අවධානය තිබේ නම් ඒවා සැක නැතුව තමන් ලඟම තිබෙනු ඇත.)

37.කවිය :-
              ගල්ලෑලි පොත්වල
              විහිලු නොලියනු කිසිකල
              පිරිසිදුව හැම කල
              තබනු පොත් පත් සියලු දේපල

(ගල්ලෑලි හෝ පොත්පත් වල කිසි විටක විහිළු දේ නොලියන්න. පොත්පත් ආදී තමන්ට අයත් සියළු දේ හැම විට ම පිරිසිදුව තබා ගන්න.)

38.කවිය :-
             පාසලෙහි තැන තැන
             කෙල නො ගසන් නොහොබි දැන
             සෙම් සොටු සූරමින
             මිදුලෙහිද නො දමන් කිසි තැන

(පාසලෙහි තැන තැන කෙල ගැසීම නුසුදුසු ක්‍රියාවක් බව දැන එසේ නොකරන්න. සෙම් සො‍ටු සූරමින් මිදුලෙහි කිසි තැනක දැමීමද නොකරන්න)

39.කවිය :-
              සිඟා කා ගෙන වත්
             කිලුටු වැරහැලි ඇඳ වත්
             බිම වැටී ඉඳ වත්
             මහත් සැපවෙයි ඉගනෙ ගතහොත්

(සිඟා කාගෙන වුවත්, කිලිටි වැරහැලි ඇඳගෙන වුවත් බිම වැටී හිඳගෙන හෝ ඉගෙන ගතහොත් මහත් සැප ලැබෙනු ඇත)

40.කවිය :-
             මවු පිය රවටලා
             නො ගනින් කිසිත් ඉල්ලා
            මව් පියන් වැඳලා
            ගනින් ඕනෑ යමක් ඉල්ලා

(මව්පියන් රවටා කිසිවක් ඉල්ලා නොගන්න. අවශ්‍ය යමක් ඇතොත් මව්පියන් වැඳ ඉල්ලා ගන්න.)

41.කවිය :-
           දෙගුරුන්ට හිරිහැර
           නොකරන් කිසිත් කරදර
           පින් සිදුවෙයි නිතර
           කරන් ආදර ගුණය හැමවර

(දෙගුරුන්ට කිසිවිටෙක හිරිහැර කරදර නොකරන්න. ඔවුන්ට හැම විටම ආදරය කරන්න. එයින් නිතර පින් සිදුවේ.)

42.කවිය :-
            පියාට ඉහළින් නොයිඳින් කිසි තැන
            මව්හට ඉහළින් නොයිඳින් කිසි තැන
            අයියට ඉහළින් නොයිඳින් කිසි තැන
            අක්කට ඉහළින් නොයිඳින් කිසි තැන

(පියාට, මවට, අයියාට, අක්කාට ඉහළින් හිඳ නොගන්න.)

43.කවිය :-
            අයියාට නොබනින් නොගහන් තරහට
            අක්කට නොබනින් නොගහන් තරහට
            මල්ලිට නොබනින් නොගහන් තරහට
            නංගිට නොබනින් නොගහන් තරහට

(අයියට, අක්කට, මල්ලිට, නන්ගිට තරහෙන් නොබනින්න. නොගසන්න.)


44.කවිය :-
            අයියට අක්කට දෙගුරුන් දුන් දෙය
            මල්ලිට නංගිට දෙගුරුන් දුන් දෙය
           ලොබ කොට තරහට නොබලන් ඒ දෙය
           හැමවිට සතුටට පැමිණෙත් ලත් දෙය

(අයියාට, අක්කාට, හෝ මල්ලීට, නංගීට දෙමව්පියන් විසින් දුන් දෙයක් ගැන ලෝබ සිතා තරහින් ඒ දෙස නොබලා ලද දෙයින් හැම විටම සතු‍ටු වන්න.)

45.කවිය :-
             ආතාට මුත්තට වැන්දට පව් නැත
             මාමට නැන්දට වැන්දට පව් නැත
             අයියට අක්කට වැන්දට පව් නැත
             මොවුනට වැන්දට කදිමට පින් ඇත

(ආතාට සහ මුත්තාට, මාමාට සහ නැන්දාට, අයියාට සහ අක්කාට වඳින්න. එයින් පව් සිදු නොවේ. මොවුනට වැන්දීමෙන් මැනවින් පින් සිදු වේ.)

46.කවිය :-
            කරුණාවට කී බණ අහපන්නේ
           මැර ගතියට හෙම දුරු නොකරන්නේ
           හොඳ සිරිතට මග පඬි බස වන්නේ
          ජය ලැබුමට එම බස අරගන්නේ

(තමන් කෙරෙහි කරුණාවෙන් යමකු කියන දෙය අහන්න. එය හිතුවක්කාර කමට බැහැර නොකරන්න. හොඳ පැවැත්මට මග නම් පඬිවරයන්ගේ ඔවදන්ය. ජය ලබා ගැනීම පිණිස එම ඔවදන් පිලිපදින්න.)

47.කවිය :-
             පොර බදමින් නෑමට නොසිතන්නේ
             දුව හැපෙමින් වතුරට නොපනින්නේ
             ගැඹුරු දියෙන් නෑමට නොවදින්නේ
             තනිව ගොසින් නෑමට නොසිතන්නේ

(පොර බදිමින් නෑමට නොසිතන්න. දුව පනිමින් එකිනෙකා හැපෙමින් ජලයට නොපනින්න. ගැඹුරු දියේ නෑමට නොබසින්න. එමෙන්ම තනිව නෑමට නොයන්න.)

48.කවිය :-
       ගෙඩි කැඩුමට ගස්වලට නොයන්නේ
       ගිනි තැපුමට හෙම පුරුදු නොවන්නේ
       නිදා ගන්නට දහවල් නොසිතන්නේ
       වැඩ කෙරුමට මැලිකම් නොකරන්නේ

(ගෙඩි කැඩීමට ගස් වලට නොනගින්න. ගිනි තැපීමට පුරුදු නොවන්න. දහවල නිදාගැනීමට නොසිතන්න. වැඩ කිරීමට කම්මැලි නොවන්න.)

49.කවිය :-
            සුරුට්ටු බීමට පිරිය නොවන්නේ
           දුම්කොළ හැපුමට පුරුදු නොවන්නේ
           බුලත් විකීමට සතුටු නොවන්නේ
           මේ ගති හැදුමට නොහොබි සිතන්නේ

(සුරුට්‍ටු බීමට හෝ දුම්බීමට පුරුදු නොවන්න. දුම්කොල හැපීමට පුරුදු නොවන්න.බුලත් හැපීමට කැමැත්තක් ඇතිකර නොගන්න. යහපත්ව හැදෙන අයට මේවා සුදුසු නැත.)

50.කවිය :-
           කෑමට කෑදරකම් නොකරන්නේ
           තවමට කියමින් කෑ නොගසන්නේ
           තරහට කෑමක් විසි නොකරන්නේ
           එළිපිට හිටගෙන කෑම නොකන්නේ

(කෑම බීම වලට කෑදරකම් නොකරන්න. මට තවත් දෙන්න යැයි ඉල්ලා කෑ නොගසන්න. තරහෙන් කෑම විසි නොකරන්න. එළිපත්තේ සිටගෙන ආහාර නොගන්න.)


51.කවිය :-
             කෑමට අත දමමින් නොමගන්නේ
             කනවිට කැත ලෙස තලු නොගසන්නේ
             කිසිවිට අඬමින් කෑම නොගන්නේ
             හැමවිට සතුටින් ඉඳ කාපන්නේ

(කෑම භාජනයට අත දමා කෑම නොගන්න. කෑම කන විට කැත ලෙස තලු නොගසන්න. කිසිඳු විටෙක හඬමින් ආහාර නොගන්න. හැම විටම සතුටින් හිඳගෙන ආහාර ගන්න.)

52.කවිය :-
             ආප්ප කැවුමත් ණයට නොගන්නේ
             අරගෙන කමිනුත් පාරෙ නොයන්නේ
             පිළිකුල් සිතුනොත් කෑම නොකන්නේ
             රසයක් ලැබුනොත් තනිව නොකන්නේ

(ආප්ප කැවුම් ආදිය ණයට නොගන්න. කෑම කමින් පාරේ නොයන්න. පිලිකුලක් සිතුනොත් කෑම නොගන්න. රස දෙයක් ලැබුනහොත් එය තනිව නොකන්න.)

53.කවිය :-
          වතුරට මළමු විසි නොකරන්නේ
          අතකට සෝදා ගෙයි නොදමන්නේ
          තෙමෙන්ට ඇඟිලි බදුනෙහි වන්නේ
          බීමට යමකුට වතුර නොදෙන්නේ

(මල මූත්‍ර ජලයට විසි නොකරන්න. අත කට සෝදා ගේ තුල නොදමන්න. අතෙහි ඇඟිලි බඳුනෙහි දියෙන් තෙමෙන ලෙස භාජනය අල්ලා කෙනෙකුට බීමට වතුර නොදෙන්න.)

54.කවිය :-
          යකෝ යන බස් නොහොබි සිතන්නේ
         ඌ මු යන බස් කැතැයි අසන්නේ
         කෝ බොල යන බස් දුරු කරපන්නේ
         පිරිය වඩන බස් පවසාපන්නේ

(යකෝ යන වචන නුසුදුසු බව සිතන්න. ඌ මූ යන වචනද කැත වචන යැයි පිලිගන්න. ‍තෝ බොල යන වචන බැහැර කරන්න. ප්‍රිය උපදවන වචන පමණක් කතා කරන්න.)

55.කවිය :-
          වැඩ ඇති විට අතපසු නොකරන්නේ
          අද දවසට වැඩ අද කරපන්නේ
          හෙට දවසට හෙම කල් නොදමන්නේ
          නිසි කාලෙට නිසි වැඩ කරපන්නේ

(වැඩ කටයුතු ඇති විට අතපසු නොකරන්න. අද දවසට නියමිත කාර්යයන් දම කරන්න. ඒවා කිසි විටෙක හෙටට කල් නොදමන්න. සුදුසු කාලයෙහි සුදුසු වැඩ කරන්න)

56.කවිය :-
              සෙල්ලම් කරමින් දබර නොවන්නේ
              නොතරම් වචනින් බැන නොම ගන්නේ
              සෙල්ලම් කෙරුමෙන් වැඩ නො නසන්නේ
              සෙල්ලම් විලසින් කල් නොයවන්නේ

(සෙල්ලම් කරන විට දබර නොවන්න. පහත් වචන කියා බැණ නොගන්න. සෙල්ලම් කිරීමෙන් තම වැඩ අතපසු නොකරගන්න.සෙල්ලමෙන්ම කාලය ගත නොකරන්න.)

57.කවිය :-
           සොහොයුරුවන් සහ දබර නො වන්නේ
           පරුස බසින් බැණ පව් නොම ගන්නේ
           තරහ වෙමින් ඌ මූ නො කියන්නේ
           එකතු කමින් හොඳ වැඩ කරපන්නේ

(සහෝදරයන් සමඟ දබර නොවන්න. පරුස වචනින් බැණ පව් පුරවා නොගන්න. තරහ වෙමින් "ඌ" "මූ" යයි නොකියන්න. එකමුතු කමින් යහපත් වැඩ කරන්න.)

58.කවිය :-
             ළමයින් දුටුකල පොරට නො යන්නේ
             කරමින් කොලහල බණ නොම ගන්නේ
             දෙවියන් ඉර හඳ මවු පිය වැන්නේ
             කියමින් කිසිකල නොම දිවුරන්නේ

(ළමයි දු‍ටුවිට රණ්ඩුවට නොයන්න. කෝලහල කරමින් බැණ නොගන්න. දෙවියන් ඉර, හඳ හා මව්පියන් සිහිකොට කිසිවිටෙක නොදිවුරන්න.)

59.කවිය :-
            හවසම නින්දට පුරුදු නොවන්නේ
            උදයට නින්දෙන් නැගිට සිටින්නේ
            ආගම අදහන සිහි කර ගන්නේ
            නො හැර ම වැඩ පල බලා ගනින්නේ

(සවස වේලාසනින් ම නිදාගැන්මට පුරුදු නොවන්න. අලුයම අවදි වන්න. තමන් දහන ආගම සිහිකොට වැඩ කටයුතු අඩුපාඩුවක් නොවන ලෙස කිරීමට වග බලා ගන්න.)

60.කවිය :-
            මහත් වැඩක් තව කියමි අසන්නේ
           පහත් ව පාලඟ දෙමව්පියන්නේ
           මහත් දයාවෙන් ගෙන දෝතින්නේ
           බුලත් අතක් දී වැඳ සිටපන්නේ

(තවත් යහපත් ක්‍රියාවක් ගැන කියමි. එය අසා ගන්න. දෙමව්පියන්ගේ දෙපා ලඟ පහත්ව දෝතින් බුලත් අතක්දී මහත් දයාවෙන් ඔවුන්ට වඳින්න.)

61.කවිය:-
          ළමා කමට නිසි වැඩ කරපන්නේ
          තරුණකමට හෙම සිත නොම ගන්නේ
          යටත් කමට සිත ගෙන හැදියන්නේ
          උසස් බවට පැමිණෙයි නිසැකින්නේ

(ළමාකමට ගැලපෙන කාර්යයන් කරන්න. තරුණකම සිතට නොගන්න. සිත කීකරුකමට නැඹුරු කොට යහපත්ව හැදෙන්න. නිසැකයෙන්ම එයින් උසස් බවට පත්වේ.)

62.කවිය:-
          මිතුරු සැප වේවා
          සතුරු දුක් දුරු වේවා
         ඉසුරු වැඩි වේවා
         ළදරු පෙළහට ජයක් වේවා

(මිත්‍ර සම්පත්තිය සැලසේවා! සතුරු දුක් කරදර දුරු වේවා! යස ඉසුරු වැඩිවේවා! ළදරු පරපුරට ජයක්ම වේවා!)


  •  දෙවන කොටස සහ තෙවන කොටස  ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

1 comment: